කාබනික සහ කාබනික නොවන කෘෂි නිෂ්පාදන : ගොවීන්ගේ ආදායම් සහ වියදම් පිළිබඳව විශ්ලේෂණයක්

Abstract

හැඳින්වීම ලෝකය පුරා වැසියන්ගේ විශේෂ අවධානය පාරිසරික ගැටලූ කෙරෙහි යොමුවෙමින් තිබේ. මේ සන්ධර්භය තුළ පාරිසරික හානිය අවම කරගනිමින් ආර්ථීක සංවර්ධනය රටට ළා කර ගත යුත්තේ කෙසේද යන ගැටලූවට බොහෝ දෙනා පිළිතුරු සොයමින් සිටියි. මෙම ගැටලූවට විසදුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවධානය යොමු කළ කරුණක් ලෙස “තිරසාර සංවර්ධනය” හැඳින්විය හැක. එක්සත් ජාතින්ගේ සංවිධානය මඟින් 1980 දී පැවති සම්මේලනයෙන් ලබාගත් තොරතුරු මඟින් ලෝක සංරක්ෂණ ක්‍රමෝපාය (World Conservation Strategy) යන ප්‍රකාශනයෙන් නිෂ්පාදනය හා සංරක්ෂණය තුලිත වන චිරස්ථායි සංවර්ධනයක් ගැන පළමු වරට පැහැදිලි කර තිබේ. 1992 මිහිකත සමුළුවේදී “අපේ පොදු අනාගතය” නමින් වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝකය හමුවට මෙම කරුණ නැවත ගෙන එන ලදී (වීරකෝන් 1996). තිරසාර යන වචනය සඳහා අර්ථ ඉදිරිපත් කරන විද්වතුන් චිරස්ථායි, කල්පවතින හා සාධාරණ යනාදි තේරුම් රැසක් එයට ඉදිරිපත් කරයි. කෙසේ වුවත් තිරසාර සංවර්ධනය යන්නෙන් ඉදිරිපත් කරනුුයේ පරිසර හිතකාමී, ආර්ථිකමය වශයෙන් දැරිය හැකි, දේශපාලනික වශයෙන් සාධාරණ හා සමාජීය වශයෙන් පිළිගත හැකි සංවර්ධනයක් ලෙස සඳහන් කෙරේ. ආර්ථික සමාජීය යන අංශ දෙකටම අලූතින්ම එක්වූ අංශය ලෙස පරිසරය දැක්විය හැක. පාරිසරික විශ්ලේශකයන්ට අනුව රටක් සංවර්ධනය කළ යුත්තේ පරිසරයට වන හානිය අවම වන ලෙසය. මෙම අවශ්‍යතාවය මත තිරසාර කෘෂිකර්මය යන සංකල්පය නිර්මාණය වී තිබේ. තිරසාර කෘෂිකර්මය යන සංකල්පයේ පදනම ලෙස කාබනික භාවිතය දැක්විය හැක. එනම් රසායනික පොහොර, පළිබෝධක නාශක හා වල්නාශක අවම මට්ටමක පවත්වා ගනිමින් කරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදනයන්ය. මෙසේ අඩු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරමින් සිදුකරන නිෂ්පාදනය පරිසර හිතකාමි මෙන්ම පිරිවැයද අවම වන නිිෂ්පාදන ක්‍රමයකි. කාබනික නිෂ්පාදන ක්‍රමවේදය ලෝකය පුරා ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් උනන්දු කිරීමට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයන්ගේ අවධානය යොමු වීම අවශ්‍යය කරුණක් වී ඇත (ඈපාකන්ද 2002). කාබනික නිෂ්පාදන පරිසර හිතකාමී මෙන්ම සාපේක්ෂව ලාභදායි වේ. බටහිර රටවල් තුළ මෙම කාබනික නිෂ්පාදන සඳහා වන ඉල්ලූම ක්ෂණයෙන් වර්ධනය වන අතරම බෝග සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ හැකියාව පවති (ඈපාකන්ද 2002). මෙලෙස කාබනික නිෂ්පාදන සඳහා අවධානයක් යොමුවීමට බලපෑ හේතූන් අතර හරිත විප්ලවය ද ප්‍රධාන වේ. හරිත විප්ලවය මඟින් ඇති වු විපර්යාසය තත්ත්කාලීනව නොව යථාකාලීනව භුක්ති විදිමින් සිටියි. කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරනු ලබන කාෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ශාරීරික අභ්‍යන්තර රෝග වැළදීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කොට ඇත. ආහාර නිෂ්පාදනය සඳහා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය 18 සහ 19 වන සියවස්වල ආරම්භ වී ඇත. එම අවධිය වන විට ලෝක ජනගහනය සීඝ්‍ර ලෙස වර්ධනය වීම සිදුවිය. මෙම වැඩිවන ජනගහනය සමඟ 18 වන සියවස අග භාගයේදී එංගලන්තය පුරාවට ආහාර අර්බුදයක් නිර්මාණය වු අතර එම ආහාර අර්බුදය හේතු කරගෙන ආහාර මිල ගණන්හි විශාල ලෙස ඉහළ යාමක් සිදුවිය. 1960දී ආරම්භ වන හරිත විප්ලවය මෙම ආහාර අර්බුදයේ එක් ප්‍රතිඑලයකි. ඇති වූ ආහාර අර්බුදය මර්දනය කිරීම සඳහා හරිත විප්ලවය විසදුම් ඉදිරිපත් කරන ලද්දේ වැඩි දියුණු කරන ලද බෝග, අස්වනු වැඩිකරන ලද පොහොර, කෘමි උවදුරු සහ වල් බිහිවීම මර්දනය කරන රසායනික ද්‍රව්‍ය භාවිත කරමිනි. මෙය තත්කාලීනව පැවති අර්බුදයට හොඳ විසඳුමක් වූ අතර වර්තමානය වන විට එය පාරිසරික ගැටලූ නිර්මාණය කරන ප්‍රධාන හේතුවක් වේ (රත්නසිරි 2005). හරිත විප්ලවයේ අනිසි ප්‍රතිඑල පළමු වරට ලෝකය හමුවට ගෙනෙනු ලබන්නේ 1962 දී ලියැවුණු රැචෙල් කාසන්ගේ Silent Spring නම් ග්‍රන්ථය මඟින්ය. මෙම ග්‍රන්ථ සමඟින් ලොව දෘෂ්ඨි කෝණය වෙනස් විය. ශ්‍රී ලංකාව තුළ ද මෙම දෘෂ්ඨි කෝණය වෙනස් වෙමින් පවති. එසේම වර්තමානය ලෝකය පුරා ජනතාව සෞඛ්‍යයමත් ජීවිතයක අවශ්‍යතාවය අගය කොට සළකන බැවින් කාබනික නිෂ්පාදන සඳහා විශේෂ වෙළෙඳපොළක් බිහිවෙමින් පවති. මෙම අවස්ථාව මඟින් ශ්‍රී ලාංකීය ගොවියාට ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමේ මාර්ගය විවෘත වේ. පිරිවැය අවම වන නිෂ්පාදන රටාවක් තුළ එනම් කාබනික නිෂ්පාදන ක්‍රමවේදයක් තුළ බෝග සඳහා ඉහළ ඉල්ලූමක් හා ඉහළ මිලක් සමඟින් ගොවියාගේ ආදායමේ වෙනසක් සිදුවනවා ද යන්න අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වේ. එම අධ්‍යයනය තුළින් කාලානුරූපීව වෙළෙඳපොළ සමඟ තරඟ කිරීමටත් එකම ස්ථානයක රැදී සිටින අපනයන ආර්ථීකය වෙනස් කිරීමේ හැකියාවක්ද පවති.

Description

Citation

Peradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 159 - 164

Collections