කුඩා පරිමාණ කර්මාන්තයන්හි බැංකු ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක

Abstract

හැදින්වීම කුඩා පරිමාණ කර්මාන්ත ආර්ථීක සංවර්ධනය කරා ගමන් කිරීමේ දි ප්‍රබල දායකත්වයක් ලබා දේ. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය ශ්‍රී ලංකා රජයේ සමස්ත අරමුණු තුළ වැදගත් අංශයක් ලෙස හඳුනාගත හැක්කේ සියලූ අංශ ඇතුලත්වන ආර්ථීක වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා උත්පාදනය හා දිළිදුකම පහත හෙළීම සඳහා වු වෙනස්කම්වල ගාමක බලවේගය බැවිනි (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ජාතික ප්‍රතිපත්ති රාමුව, 2015). කුඩා පරිමාණ කර්මාන්ත ආර්ථීක සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීය වශයෙන් දායක වන බවට මෑත කාලයේ විශාල වශයෙන් නව සාහිත්‍යයක් ගොඩ නැගෙමින් පවතී. ශ්‍රී ලංකාව වැනි රටක පවතින විභවතාව මත කුඩා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම ඉතා පහසු හා සුලබ වී තිබේ. නමුත් තත්ත්වය එසේ වුව ද ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවත්නා රටවල කුඩා පරිමාණ කර්මාන්තයන් හා ව්‍යාපාර විශාල අර්බුධකාරී මෙන්ම අපහසුතාවන්ට මුහුණ පා ඇති බව පැහැදිලි වේ. බොහොමයක් කුඩා පරිමාණ කර්මාන්ත අරම්භ කර ටික කාලයකින්ම වැසී යන්නේය. එයට විවිධ හේතුන් බලපෑ හැකිය. එනම් ප්‍රාග්ධන හිඟකම, මුල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුතා, විවෘත ආර්ථීක ප්‍රතිපත්ති සමඟ තරඟ කිරීමට නොහැකි වීම ආදියයි. ප්‍රත්‍යක්ෂමූල සාක්ෂි පෙන්වන්නේ ව්‍යවසායකයා ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා තෘප්ත කර ගැනීමේදි අසීරුතාවලට මුහුණ දෙන බවයි (විඡේතුංග 2008). මුල්‍ය ප්‍රාග්ධන හිඟකම තෘප්තකර ගැනිමේදි කුඩා පරිමාණ කර්මාන්ත විධිමත් හෝ අවිධිමත් අංශයන් ගෙන් ණය ගැනීමට පෙළබේ. එසේ බාහිර ණය ගැනිමේ දි විශේෂයෙන්ම බැංකු ණය කෙරෙහි යොමු වීම දක්නට ලැබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි වර්ධනයට හා සඵල වීමට මෙන්ම ආර්ථීක පරිසරයක් නිර්මාණය කිරීමට බැංකු මූල්‍යනය සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙතත් ශ්‍රි ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බැංකු මූල්‍යයනයට ප්‍රවේශ වීමේදී සැළකිය යුතු බාධාවන්ට මුහුණ දීමට සිදුවේ (පණ්ඩුල 2015). බැංකු ණය ඉල්ලූම් කිරීමේ දී සාර්ව ආර්ථීක සාධක, ප්‍රාදේශීය සාධක, ආයතනයේ අභ්‍යන්තර තත්ත්වය ආදිය බලපායි. නමුදු කුඩා පරිමාණ කර්මාන්තවල බැංකු ණය සඳහා ප්‍රවේශයේ ගැටළුකාරි තත්ත්වයන් හා කුඩා පරිමාණ කර්මාන්තවල බැංකු ණය කෙරෙහි බලපාන සාධක පිළිබඳ හඳුනා ගැනීමට වැදගත් වේ. කුඩා පරිමාණ කර්මාන්තවල මුල්‍ය ගැටළු පිළිබඳව විවිධ පර්යේෂණ සිදුව තිබුණ ද කුඩා පරිමාණ කර්මාන්තවල ඇති බැංකු ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක පිළිබඳ අධ්‍යයන ඉතා විරලය. ඒ තුළ ද ණය ඉල්ලූම සඳහා බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක පිළිබඳ ශ්‍රී ලංකාවට අදාළව එක් පර්යේෂණයක් හෝ සිදුවී නොමැත. නමුත් ආයතනයේ අභ්‍යන්තර සාධක ණය ඉල්ලූම කෙරෙහි බලපාන ආකාරය අධ්‍යයනය කිරීම වැදගත් වේ. එහිදී කුඩා පරිමාණ කර්මාන්තවල ණය ඉල්ලූම් ප්‍රමාණය තිරණය කරන අභ්‍යන්තර සාධක හඳුනා ගැනීම මෙන්ම ඒවා ණය ඉල්ලූම කෙරෙහි කොපමණ ප්‍රමාණයෙන් බලපෑම් කරන්නේ ද? හා එය කුමන ආකාරයේ බලපැමක් ද? යන්න පිළිබඳව මෙහි අධ්‍යයන ගැටළුව ලෙස වැඩිදුර විශ්ලේෂණය හා පැහැදිලි කිරීම සිදු කරයි. මෙම අධ්‍යයනයේ අරමුණ කුඩා පරිමාණ කර්මාන්තවල බැංකු ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපාන ආයතනයේ අභ්‍යන්තර සාධක හඳුනා ගැනීම හා එම සාධකයන් ණය ඉල්ලූම් ප්‍රමාණය කෙරෙහි බලපෑම පරීක්ෂා කිරිමයි. එහිදි ව්‍යවසායකයාගේ වයස, ව්‍යවසායකයාගේ අධ්‍යාපන මට්ටම, ව්‍යවසායකයාගේ ස්ති්‍ර/පුරුෂ භාවය, පවුලේ විශාලත්වය, ආයතනයේ වත්කම් ප්‍රමාණය, ආයතනයේ ආරම්භක ප්‍රාග්ධනය, ණයක් ලබා ගැනීමට ගතවන කාලය, බැංකුවට ඇති දුර ආදි සාධක ණය ඉල්ලූම් ප්‍රමාණයට බලපාන ආකාරය හඳුනා ගැනීමට කටයුතු කරයි. අධ්‍යයනයේ සංගහනය ලෙස නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලූ කුඩා පරිමාණ නිමවුම් කර්මාන්තයන් (ආයතන 324) ද නියදිය ලෙස සරල සසම්භාවීව ආයතන 60ක් ද තෝරා ගෙන තිබේ. ප්‍රශ්නාවලී හා සම්මුඛ සාකච්ඡාවන් මඟින් දත්ත රැස් කිරීම සිදු කෙරේ. නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩා පරිමාණ නිමවුම් කර්මාන්ත ආයතන 60කින් ලබා ගන්නා ප්‍රාථමික දත්ත ඇසුරින් ප්‍රතිපායන ආදර්ශයක් ගොඩනගමින් දත්ත විශ්ලේෂණය සිදුකර තිබේ.

Description

Citation

Peradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 138 - 143

Collections