සාම්ප්‍රදායික සහ නූතන ආහාර අතර තරඟය : සහල්වලට එදිරිව තිරිඟු පිටි පිළිබදව සංසන්ධනාත්මක අධ්‍යයනයක්

Abstract

හැඳින්වීම වර්තමානයේ ආහාර පරිභෝජන රටාව, ආහාර ඉල්ලූම හා එහි ප්‍රවණතාවයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒ හා සම්බන්ධ ඓතිහාසික තත්ත්වයන්ද වැදගත් වේ. වර්ෂ 1505 සිට සිදු වූ විදේශීය ආක්‍රමණයන්ගෙන් පසු කෘෂිකර්මාන්තය කෙරෙහි පැවති රාජ්‍ය අවධානය අවම වූ අතර ආහාර නිෂ්පාදනය පහත වැටීම නිසා සහල් ප්‍රමුඛ ආනයන ද්‍රව්‍යයක් බවට පත් විය (සෝමරත්න, 1991). නමුත් ක්‍රමක්‍රමයෙන් සහල් ආනයනය පහළ ගොස් වර්තමානය වන විට තිරිඟු ආනයනය ඉහළ අගයක්ව පවතින බව ආහාර ශේෂ පත්‍ර පිරික්සීමෙන් පැහැදිළි වේ. 1961 දී සහල් ආනයනය තිරිඟු ආනයනය අභිබවා පැවති අතර එහි පරතරය මෙට්‍රික් ටොන් 816,990 කි. 2013 වන විට සහල් මෙට්‍රික් ටොන් 22,930ක් හා තිරිඟු මෙට්‍රික් ටොන් 494,400ක් ලෙස මෙට්‍රික් ටොන් 471,470ක විශාල පරතරයක් සහිතව තිරිඟු ආනයනිත ප්‍රමාණය ඉහළ ගොස් ඇත (ආහාර ශේෂ පත්‍රය 1961, 2013). එය ශ්‍රී ලංකාවේ වර්තමාන පරිභෝජන රටාව පිළිබිඹු කරන කැඩපතකි. වර්තමානය වන විට තිරිඟු පිටි, සහල් පරිභෝජනය සඳහා බලපෑම් කිරිමට තරම් සමත් වීම කාගේත් අවධානයට පාත්‍ර වූ කරුණකි. මේ ආකාරයට තිරිඟු පිටි ධාන්‍යමය ආහාර ද්‍රව්‍ය අතරින් ඉතා වැදගත් හා ජනප්‍රිය ද්‍රව්‍යක් බවට පත්වෙමින් පවතී. සහල් සමඟ සංසන්දනාත්මකව දක්වන විට තිරිඟු ආශ්‍රීත ආහාර පිළියෙල කර ගැනීමේ පහසුව මෙම ජනප්‍රියත්වයට හේතු වී ඇති අතර තිරිඟු පිටි මිලෙන් අඩු ද්‍රව්‍යක් වීමද එහි පරිභෝජනය වැඩි වීමට හේතු වේ (ආරියවර්ධන, 2003). නාගරීකරණය හේතුවෙන් ආසියාතික රටවල සහල් මත ඍණ බලපෑමකුත් තිරිඟු පරිභෝජනය මත ධන බලපෑමකුත් සිදු කරන බව ආසියාතික රටවල් ආශ්‍රයෙන් සිදු කර ඇති අධ්‍යයන මගින් තහවුරු කර ඇත. එසේම කාන්තා සේවා නියුක්තිය නිසා ගෘහණියට ආහාර පිසීම සඳහා විවේකයක් නොමැති වීම, ආදායම් මට්ටම් ඉහළ යාම, නාගරීකරණය යන සාධක හේතුවෙන් ක්ෂණික හා විදේශීය ආහාර සපයන අවන්හල් වෙතින් තම පරිභෝජන අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට යොමු වේ. මෙම සන්දර්භය තුළ වර්තමානයේ විදේශීය පිසූ ආහාර අවන්හල් ද ව්‍යාප්ත වෙමින් පවතියි. එම ආයතන අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන මගින් සපයා ගන්නා අතර එහිදී තිරිඟු පිටි ප්‍රධාන අමුද්‍රව්‍යක් වේ. විදේශීය අවන්හල් ලබන ලාභය මව් රට වෙතට රැගෙන යාම නිසා ඒවා රට තුළ ප්‍රාග්ධන සම්පාදනයට යෙදවීමට අවස්ථාවක් හිමි නොවේ. විදේශීය ධාන්‍ය ආනයනය හේතුවෙන් දේශීය කෘෂි බෝග සඳහා වෙළඳපළ අහිමි වන අතර එම බෝග වගා කිරීම සඳහා පවතින අභිප්‍රේරණයද හීන වෙමින් පවතියි. ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම මඟින් ගෙවුම්ශේෂ හිඟය තව දුරටත් පුළුල් වන බව පොදු පිළිගැනීමයි. මහබැංකු වාර්තාව (2015) දක්වන පරිදි ශ්‍රී ලංකාවේ ආහාර ආනයන වියදම ඩොලර් මිලියන 1627.8 ක් වන අතර ආහාර අපනයන ආදායම ඩොලර් මිලියන 112.6 කි. ගෙවුම්ශේෂ හිඟයට ආහාර ආනයන වියදම හා ආහාර අපනයන ආදායම අතර පරතරය ඍණාත්මක බලපෑම් කර ඇති බව මෙහිදී පැහැදිලිය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ දේශීය පිසූ ආහාර අවන්හල්ද ව්‍යාප්ත වෙමින් පවතියි. එම අවන්හල් මඟින් දේශීය ආහාර පිසින ක්‍රමවේද, දේශීය ආහාර පිළිගන්වන ක්‍රමවේද භාවිත කරමින් දේශීය ආහාරවල ගුණය, රසය වෙතට නැවත වතාවක් සමාජීය අවධානය යොමු කර වීමට උත්සාහයක යෙදී සිටියි. ඉහළ ප්‍රචාරණ කටයුතු සිදු කරන, විශාල ශාඛා ප්‍රමාණයක් පවතින, වඩාත් සුදුසු අලෙවි උපක්‍රම භාවිත කරන විදේශීය පිසූ ආහාර සපයන අවන්හල් සමඟ දේශීය පිසූ ආහාර සපයන ආයතනවලට තරඟ කිරීමට ඇති හැකියාව අවම බව විද්වත් මතයයි. එම නිසා එම බාධක අභිබවා යමින් දේශීය ආහාර වෙළඳපල සකස් වීම අවශ්‍ය වේ. මෙවන් තත්ත්වයක් තුළ දේශීය ආහාර වෙළෙඳපොළක අවශ්‍යතාවය ඉස්මතු වෙමින් පවතියි. දේශීය ආහාර වෙළෙඳපොළක ඉදිරි ගමන සඳහා අවැසි වන අවස්ථාවන් හා එයට එරෙහි වන බාධාවන් අධ්‍යයනය කර ඒ සඳහා ක්‍රියාමර්ග ගැනීම තුළින් දේශීය ආහාර වෙළෙඳපොළත්, දේශීය කෘෂිකර්මාන්තයත්, දේශීය ආර්ථිකයත් ශක්තිමත් කළ හැකිය.

Description

Citation

Peradeniya International Economics Research Symposium (PIERS) – 2017, University of Peradeniya, P 154 - 158

Collections